ශාරීරිකවත්, මානසිකවත් මිනිසා පරිහානියට පත්කරවන මත්පැන් භාවිතය ඇතැමෙකුට වීරත්වයක් විය හැකියි. එහෙත් එය සුළු මොහොතකට පමණි. නමුත් දිගු කාලීනව මත්පැන් භාවිතයේ දී ඔවුන්ට සිදුවන පරිහානිය පිළිබඳ ඔවුන් මොහොතක්වත් නොසිතන්නට ඇත.
මේ පිළිබඳ පුළුල් කතිකාවතක් ඇති කළ යුත්තේ එය කුටුම්භ ආර්ථිකයේ සමතුලිතතාවයට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රබලව දැනෙන බැවිනි. මාධ්‍ය එය සුදුසු නොවේ යැයි කොතෙකුත් වාර්තා කළත් දිගු පෝලිම් මත්පැන්හල්වල දැකගත හැකිය.
මද්‍යසාර අධික ලෙස ශරීරගත වීමේ දී ගැටලු රැසක් ඇතිවන බව පෙන්වා දෙන කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ මහතා පවසන්නේ මද්‍යසාර ශරීරයේ සියලු අවයවවලට බලපෑම් ඇතිකරන බවයි. ගැටලු රැසක් පැන නැඟ එන මද්‍යසාර අධික ලෙස ගැනීමේ දී ශරීරයට සිදුවන්නේ කුමක්දැයි විමසා බැලීම අතීශය වැදගත් කාරණයකි.
මද්‍යසාර ප්‍රමාණය ඉක්මවා ගැනීමෙන් ගැටලු රැසක් ඇතිවීම සාමාන්‍යයි. ඉන් ඇතිවන බලපෑම් සියලු ශාරීරික අවයව කරා විහිදී යයි. මේ තුළින් ප්‍රධාන වශයෙන් අක්මාවේ යම් යම් වෙනස්වීම් සිදු වෙනවා. එහි සෛලවලට හානි සිදු වී අවසන් ප්‍රතිඵලය ලෙස සිරෝසීස් නැමැති තත්ත්වයට පත් විය හැකියි.
නමුත් මේ රෝගය මද්‍යසාර නිසාම ඇතිවන තත්ත්වයක් ද නොවෙයි. කෙසේ වෙතත් අධික ලෙස මත්පැන් ගැනීමේ දී කාලයක් පුරා සිදුවන ක්‍රියාවලියක් නිසා ක්‍රමයෙන් රෝගී තත්ත්වය ඇති වෙයි. මේ තත්ත්වයට පත් වූ පසු අක්මාවේ කාර්යයන් නිසියාකාරව සිදු නොවේ.
එවිට යම් යම් රෝග ලක්ෂණ දැකගන්න පුළුවන්. ඒ අනුව පාද ඉදිමීම, උදරයේ වතුර පිරීම, අක්මාව හා ප්ලිහාව අතර තිබෙන ශිරාවේ පීඩනය වැඩි වී ප්ලිහාව විශාලවීම සේම ඒ පද්ධතියට සෘජුව සම්බන්ධ ශිරා විශාල වී ආමාශයට ලේ ගැලීම් සිදුවිය හැකියි. එනිසා ලේ වමනය යාම හා මළ සමඟ රුධිරය පිටවීම ද දක්නට පුළුවන්.
අක්මාවේ සිරෝසීස් ඇති වූ අයෙකුට අක්මාවේ පිළිකා ඇතිවීමේ අවදානමක් තිබෙනවා. එසේම මොළයේ (හෙපටික් එන්කෙෆලෝපති) hepatic encephalopathy තත්ත්වය ඇතිවිය හැකියි.
මත්පැන් පානය කිරීමේ දී යම් පුද්ගලයකු එයට ඇබ්බැහි වීමක් සිදු වෙනවා. එහි දී එම පුද්ගලයාගේ මොළයේ රසායනික ද්‍රව්‍ය වෙනස් වීමක් ද සිදු වෙනවා.
මේ හේතුවෙන් මත්පැනට ඇබ්බැහි වූවකුට එය නැවැත්වීමට අවශ්‍ය වුවත් මොළයේ රසායනික විපර්යාසය හේතුවෙන් පුද්ගලයාට අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙනවා. මේ ක්‍රියාවලිය නිසා දිගින් දිගටම ඇබ්බැහි වීම සිදු වෙනවා. කෙසේ වෙතත් මත්පැන් මඟින් කිසිදු පෝෂක කොටසක් හෝ විටමීනයක් ශරීරයට ලැබෙන්නේ නැහැ.
එසේම මානසික ආතතිය අවම කර ගැනීම හෝ හරිහැටි නින්දක් ලබාගැනීම මෙන්ම තමාගේ ගැටලු නිරාකරණයට ද ප්‍රයෝජනවත් වන්නේ නැහැ. මානසික සුවයක් හෝ ශාරීරික සුවයක් ද ලබාගත හැකි යැයි ඔවුන් සිතුව ද ඒ කිසිවක් සත්‍ය වශයෙන් ලද නොහැකියි. මද්‍යසාර නිසා ස්නායු පද්ධතියට ද හානි වෙනවා. ඒ අනුව මතක ශක්තිය අඩුවීම මෙන්ම පර්යන්ත ස්නායුවලට හානිවිය හැකියි. මොළයේ සෛල හා ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමක් මත්පැන් මඟින් සිදුවන අතර මිනිසාගේ අවධාන ශක්තිය මෙන්ම මතක ශක්තිය ද මෙහිදී අඩු වීමකට ලක් වෙනවා. ශරීරයේ සීනි ප්‍රමාණය මොහොතකට අඩු කර තවත් විටෙක වැඩි වන අවස්ථා ද තිබෙනවා. මත්පැන් පානයෙන් පසු ආහාර නොගැනීමෙන් ශරීරයේ සෛලවල සැපයෙන ග්ලුකෝස් අඩු වී මොළයේ සෛල විනාශ විය හැකියි. මේ ක්‍රියාවලිය දිගුකාලයක් සිදුවීමේ දී භයානක ප්‍රතිඵල අත්විය හැකියි.
ඊට අමතරව ආමාශයේ පිළිකා තත්ත්ව හා තුවාල ඇතිවන්න පුළුවන්
ඒ හරහා හිරිවැටීම් ද සිදුවන්න පුළුවන්. ඊට අමතරව ආමාශයට ලේ ගැලීම හෝ ලේ ගැලීමකින් තොරව ගැස්ට්‍රයිටීස් තත්ත්වය ඇතිවිය හැකියි. තව ද අන්නස්‍රෝතය සහ මහබඩවැලේ මෙන්ම අග්න්‍යාසයේ පිළිකා ඇතිවෙන්න පුළුවන්.
කෙසේ වෙතත් අක්මාවට සුළු වශයෙන් හානියක් වී තිබෙනවා නම්, එවන් අවස්ථාවල දී මත්පැන් පානය නවතා දැමීමෙන් අක්මාව යථා තත්ත්වයට පත්කරගත හැකියි. නමුත් ඒ තත්ත්වය තිබියදී නැවත නැවත මත්පැන් පානය කළ හොත් අක්මාව ආසාදනයට ලක් වීම නොවැළැක්විය හැකියි. හෘදය වස්තුවට හානිවෙන්න පුළුවන්. හෘදයේ රුධිර නාලවලට සහ පේශිවලට හානි වී එවැනි අවස්ථාවල හෘදය වස්තුව ඉදිමෙන්න පුළුවන්. ඊට අමතරව ලිංගික අඩපණ වීම ද දක්නට ලැබෙනවා
මද්‍යසාර අධික ලෙස ගන්නා අයකුගේ රුධිරවාහිනී පද්ධතියට ද අහිතකර බලපෑම් ඇතිවිය හැකියි. ඒ අනුව හෘදයවස්තුවේ පේශි අකර්මන්‍ය වීම හා හෘදයේ ගැස්මේ වෙනස්වීම් ඇතිවිය හැකියි. හිමොග්ලොබින් ප්‍රමාණය අඩු විය හැකි අතර රුධිරයේ වෙනස්වීම් ලෙස ප්ලේට්ලට් අඩුවීම ද දැකගත හැකියි.
රතු රුධිරානු සෛලවල විශාලත්වය වැඩි වෙන්න පුළුවන්. එසේම මෙවැනි අයගේ පෝෂක තත්ත්වවල ඌනතා දැකගත හැකි අතර එවැනි අයගේ තයමින් අඩු විය හැකියි. ඉන් හෘදය වස්තුවට බලපෑම් ඇති වී බෙරිබෙරි රෝග තත්ත්වය ඇතිවන්න පුළුවන්.
Cardiomyopathy නැමැති තත්ත්වය ඇති වී හෘදය වස්තුවේ පේශි නිසියාකාරව ක්‍රියාත්මක නොවිය හැකියි. ඊට අමතරව අස්ථිවලට ද බලපා එහි කැඩෙන ස්වභාවය වැඩි වෙන්න පුළුවන්.
තාවකාලිකව රුධිරගත සීනි ප්‍රමාණය අඩුවිය හැකි සේම කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වෙන්න ද පුළුවන්. තව ද හෝර්මෝනවල ක්‍රියාකාරීත්වයේ වෙනස්වීම් ඇතිවිය හැකියි. ඊට අමතරව පිරිමියකුගේ නම් ගැහැනු හෝර්මෝන වැඩි වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා.
ඒ අනුව පියයුරු විශාලවීම මෙන්ම වෘෂණ කෝෂ කුඩාවීම හා ලිංගික ශක්තිය අහිමිවී යා හැකියි. මේ සියල්ල සිදු වන්නේ මද්‍යසාර ලබා ගන්නා ප්‍රමාණය වැඩි වූ විටයි. ප්‍රධාන වශයෙන් මෙය වැඩිපුර ගැනීමෙන් ඇබ්බැහි වීමකට ලක් වෙන්න පුළුවන්. ඒ අනුව යම් යම් රෝග ලක්ෂණ මතුවීමේ අවදානමක් තිබෙනවා.
මේ සියල්ල දෙස බැලීමේ දී මද්‍යසාර ශරීරගත වී විශාල පරිහානියක් සිදුකරන බව පෙනී යයි. එනිසා ඉන් මිදීමට උත්සාහ කළ යුතුයි. එසේම උත්සව අවස්ථාවන්වල දී ද මේ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ශරීරයටත් ජීවිතයටත් වාසියක් නොවන මද්‍යසාර ගැනීමෙන් ඈත් වී සිටීම වාසි රැසක් හිමි වන්නා සේම සෞඛ්‍ය සම්පන්න බව රැකගැනීමේ හැකියාව ද සතුය.
No comments:
Post a Comment