බුද්ධ පූජාවක් පිළියෙල කරගෙන විහාරයකට යන සැදැහැවතකුට ආහාරයක් නො ලැබ ක්ලාන්ත වී ඉන්නා දුගියකු මුණ ගැසුණහොත් ගෙන යන ආහාර දුගියාට දී ඔහු සුවපත් කිරීම ය, ඔහු ගැන නො සලකා ඒ ආහාර විහාරයට ගෙන ගොස් පූජා කිරීම ය යන මේ දෙකින් වඩා හොඳ කුමක් ද?
දේශපාලන න්‍යායයන් අනුව මේ ප්‍රශ්නය විසඳතහොත් ඒ ආහාරය සාගින්නෙන් පෙළෙන දුගියාට දීම හොඳ බව කිය යුතුය. බුදුනට පූජාවක් කරන පින්වතා එය කරන්නට බලාපොරොත්තු වන්නේ තමා ගේ අනාගත සැපය සඳහා පින් කර ගැනීමට ය. දානමය කුසලය මහත්ඵල වන්නේ ප්‍රතිග්‍රාහකයාගේ අසරණකම අනුව නොව ගුණවත්කම අනුව ය. බුදුනට වැඩි ගුණවතෙක් ලොව නැත්තේ ය. තථාගතයන් වහන්සේ ගුණවතුන්ගෙන් අග්‍රය හ. වැඳුම් පිදුම් කළ යුත්තන් අතරින් තථාගතයන් වහන්සේ ම අග්‍ර වන සේක.
“නයිමස්මිං ලොකෙ පරස්මිං වා පන
බුද්ධෙන සෙට්ඨො සදිසොව විජ්ජති
යමාහුනෙය්‍යානං අග්ගතං ගතො
පුඤ්ඤත්ථිකානං විපුලඵලෙසිනං”
“මේ ලෝකයේ හෝ අන් ලෝකයක බුදුන් වහන්සේට ශ්‍රේෂ්ඨයෙක් හෝ සමාන වන්නෙක් හෝ නැත. පින් කැමති වන්නා වූ මහත්ඵලය සොයා ගන්නා වු තැනැත්තන් විසින් පිදීමට සුදුස්සන් අතුරෙන් ඒ තථාගතයන් වහන්සේ අගතැන්පත් වූ සේක” යනු එහි තේරුම ය. දුගියාට දීමෙන් වන කුසලයට වඩා සිය දහස් ගුණයෙන් මහත්ඵලය වන පිනක් බුද්ධ පූජාව කිරීමෙන් ලැබෙන්නේ ය. බුද්ධ පූජාව ගෙන යන සැදැහැවතාට ලැබෙන අනාගත ඵලය අනුව කියනවා නම් බුද්ධ පූජාව කිරීම යහපත් බව කිය යුතු ය. බුද්ධ පූජාව නො කොට ඒ ආහාරය දුගියාට දෙන්නට කීම කෙනකුට අලාභයක් කොට තවත් කෙනකුට උපකාරයක් කිරීම ය.
බොහෝ සෙයින් මෙබඳු ප්‍රශ්න නඟන්නේ බුද්ධ පූජාවත් නො කරන දුගියන්ට උපකාරයකුත් නො කරන ධර්මයෙන් ඈත්ව වෙසෙන ආත්මාර්ථකාමීහු ය. බුද්ධ පූජා කරන සැදැහැවත්හු බොහෝ සෙයින් දුගීන්ට ද උපකාර කරන්නෝ ය. නිරාහාරව ඉන්න දුගියන් සම්බන්ධයෙන් නැගිය යුත්තේ මේ බුද්ධ පූජා ප්‍රශ්නය නොව “තමාගෙන් යමක් දී අසරණයකුට පිහිටවීම ය, තමා ගේ දේ පරෙස්සම් කර ගැනීම ය යන මේ දෙකින් වඩා යහපත් කුමක්ද” යන ප්‍රශ්නය ය.
No comments:
Post a Comment