මිනිසාගේ උපත කෙසේ කවදා සිදුවූයේ ද? යන්න මානව ඉතිහාසයේ දිගු කලක් තිස්සේ මිනිසුන්ගේ මනසට වද දෙන ප්‍රශ්නයකි. ඒ ගැන පැහැදිලි කරමින් වරින්වර ඉදිරිපත් වී ඇති මතවාද විද්‍යාත්මක හා ආගමික වශයෙන් කොටස් දෙකකට බෙදෙයි. මිනිසාගේ සම්භවය පිළිබඳව ලෝකයේ සම්භාවනයට පත් මතයක් ඉදිරිපත් කළ ස්වභාව විද්‍යාඥයා චාර්ල්ස් ඩාවින් ය. දැනට වසර එකසිය පනහකට පමණ පෙර චාල්ස් ඩාවින් විසින් ජීවයේ ආරම්භය ගැන මුලින්ම හෙලිදරව් කරන ලදී.
ලෝකය ආරම්භයේ දී උණුසුම් දිය පොකුණකට සමාන කළ ඔහු සූර්යාලෝකයේ බලපෑමෙන් ඇති වූ රසායනික විපර්යාස මත ප්‍රථම ජීවියා බිහිවන්නට ඇතැ යි පැවැසී ය. රසායනික විපර්යාසයන් මගින් ඇතිවුණ පෘථිවි ජීවය ශාක හා සත්ත්ව වශයෙන් පරිණාමයට පත්වන හැටි ඔහු පැහැදිලි කළේ ය. එය සිදුවන්නේ ජාන වෙනස්වීමෙනි. ස්වභාවික පරිසරයට අනුව සිදුවන ජාන විපර්යාසයන් ඔස්සේ පරිණාමයට පත්වන සත්වයෝ වෙන් වශයෙන් පරම්පරාවන් බිහි කරති. ඒ අනුව මිනිසා වර්තමානයේ සිටින ස්වරූපයට පරිනාමය වී ඇත්තේ වානරයකුට සමාන සත්ත්වයකුගෙනි. විවිධ ප්‍රදේශවලින් සොයාගත් මිනිස් ඇටසැකිලි කාල වකවානු අනුව පෙළගැස්සීමෙන් ඩාවින් තම අදහස ඉදිරිපත් කොට ඇත. එම වෙනස් වීම අවුරුදු මිලියන ගණනක් තුළ සිදුවූවකි.
චාල්ස් ඩාවින්ගේ පරිනාමවාදී මතය හින්දු ආගමේ සඳහන් විෂ්ණු දෙවියා ලොව පහළවන ස්වරූපයන් වන දශ අවතාර සමග ගලපන්නට හැකියාවක් තිබේ. දශ අවතාරයේ පළමුවැන්න මාළුවෙකි. එයින් කියැවෙන්නේ ආදී ජීවියා ජලයෙන් බිහි වූ බවකි. කුර්ම අවතාරය දෙවැන්න යි. එයින් අදහස් වන්නේ දිය ගොඩ දෙකෙහි ම හැසිරිය හැකි ඉබ්බා ය. මාළුවාට වඩා ඌ දියුණු ජීවියෙකි. පරිනාමයේ දෙවන යුගයේ දී ගොරහැඩි ආවරණයක් සහිත සතුන් ලොව බිහිවුණ බව විද්‍යාඥයන් පිළිගත් මතයකි. හින්දු ආගමේ දැක්වෙන අවතාරයන්ගෙන් තුන් වැන්න වරාහ හෙවත් ඌරු අවතාරය යි.
ඌරා යනු නහය දිගැති මැමත් වැනි සතුන් පරිනාමයෙන් බිහිවුණ සත්ත්වයෙකි. ඌරාගේ නාසය කෙටි ය. හතරවන අවතාරය නරසිංහ නමි. තිරිසන් සතුන්ගෙන් මිනිසා වෙන්ව දියුණුවට පත්වන යුගය එයින් අදහස් කළහැක. වාමන යනු උස නැති මිනිස් සිරුරක් ඇති පස්වන අවතාරය යි. වාමන විසින් බලි අසුරයා ජයගත් බව හින්දු ආගමේ සඳහන් වෙයි. බිමට පහත් වී ගමන් කරන ආදි මිනිසා තිරිසන් සතුන් ජයගැනීම මෙයින් අදහස් කළ හැක, හයවන අවතාරය එරසුරාම නම් වෙයි. ඔහු පොරවක් අතින් ගත් මිනිසෙකි. එය මානවයා ආයුධ භාවිතය පටන් ගත් යුගය විය හැක. ගෝත්‍රික ගැටුම් ඇතිවුණේ මේ කාලයේ දී ය. හත්වන වූ රාම අවතාරය සම්බන්ධ සිද්ධීන්ගෙන් පෙනෙන්නේ මානවයා විවිධ ගෝත්‍රිකයන් ජය ගනිමින් ජනපද පිහිටුවා ගැනීමකි. මානවයා සෑම පෙදෙසක ම එකම වේගයකින් පරිනාමයට පත් නොවූ බව සනාථ වූ කරුණකි. රාම විසින් රාවණ සමග සටනට ලංකාවට එව්වේ වඳුරු හමුදාවකි. නොදියුණු මිනිසුන් පිරිසකි. ලංකාවේ එකල සිටියේ දියුණු මානව වර්ගයකි.
කෘෂ්ණ යනු අටවන අවතාරය යි. විවිධ ශක්තීන් දියුණුකරගත් සෘෂිවරුන් පවා ජීවත්වුණ කෘෂ්ණ යුගයේ දී රාජ්‍ය පාලනය සඳහා නෑදෑයන් අතර ද සටන් ඇතිවුණි. මානවයා බුද්ධියෙන් උපරිම තලයට පැමිණීම සිදුවුණේ බුද්ධ නමැති නවවන අවතාරය පහළ වූ යුගයේ දී ය. හින්දු ආගමිකයන් බුද්ධ නමින් පිළිගන්නේ අපේ බුදුරදුන් ය. ඒ අනුව දැනට පවතින බුද්ධ යුගය මානවයාගේ දියුණුම අවස්්ථාව යි. අවසානය කල්කී අවතාරය එය අනාගතයේ බිහිවන්නකි. මේ අනුව ඩාවින් ඉදිරිපත් කළ මිනිසාගේ පරිනාමය හින්දු ආගමික දශ අවතාර පෙළ ගැස්විය හැක. නමුත් හින්දු ආගමේ කුලවාදය පිළිබඳ ඉගැන්වීමට අනුව මිනිසා දේව නිර්මාණයකි.
පරිණාමවාදය ආගමික හා ආගමික නොවන බුද්ධිමතුන් හා විද්‍යාඥයන් බොහෝ දෙනකු විසින් පිළිගන්නා ලද්දකි. වර්තමානයේ දක්නට ලැබෙන සතුන් හා පැලැටී ඩාවින්ගේ පොතේ දැක්වෙන පරිදි ආදී සතුන්ගෙන් හා පැලෑටිවලින් කාලයක් තිස්සේ සෙමින් පරිණාමයට පත්වීමෙන් බිහි වී ඇත. පාසල් ළමයි ජීවීන් ගැන හොඳින් දනිති. මිනිසුන්, සිවුපාවුන් පැලෑටි හා බැක්ටීරියා ගැන ඔවුහු හදාරති. ඩී.එන්.ඒ හෙවත් ජාන සංයුතියෙන් ජීවීන් නිර්මාණය වී ඇත.
2001 පෙබරවාරි 26 ටයිම් සඟරාවේ සඳහන් අන්දමට චිම්පන්සියාගේ සහ මිනිසාගේ ජාන සියයට අනූනවයක් සමානකමක් පෙන්වයි. මේ අනුව මිනිසා යනු නවීකරණය වූ චිම්පන්සියකු යැයි වරදවා තේරුම් නොගතයුතු ය. නමුත් චිම්පන්සියා යනු මිනිසාගේ දුර නෑයෙකි.
ජීවයේ සම්භවය හා පරිනාමය ගැන බෞද්ධ විග්‍රහය ඉදිරිපත් වන්නේ අග්ගඤ්ඤ සූත්‍රයෙනි. බුදුදහම ලෝකයේ හෝ ජීවයේ ආරම්භයක් ගැන සඳහන් නොකරයි. එහෙත් කලින් කලට සිදුවන ලෝකයේ ඇතිවීම හා නැතිවීම පිළිබඳ ක්‍රියාදාමයක් එහි දැක්වෙයි.
1. ලෝකය හැකිලී තිබෙන යුගය,
2. දිගහැරෙන යුගය,
3. දිගහැරී තිබෙන යුගය,
4. හැකිළෙන යුගය වශයෙනි.
මේ සඳහා විශේෂ වචන අග්ගඤ්ඤ සූත්‍රයේ තිබේ. පැන්ජියාව, ගොඩ්ස්වානාලන්තය නමින් හැඳින්වෙන ලෝකය තනි බිමක් ලෙස පැවතුණකි. වත්මන් ලෝක සිතියමේ රටවල් නිවැරැදිව එකිනෙකට බද්ධ කළ හැක. එයින් පෙනෙන්නේ භූමිය අවුරුදු මිලියන ගණනක් තිස්සේ ප්‍රසාරණය වී වෙන්වූ බව යි. ගොඩබිම් ඇතිවීම පිළිබඳ විද්‍යාත්මක නිගමනයන්ට බුදුදහමෙන් ආලෝකයක් ලැබෙයි. ලෝකය එකට හැකිලී තිබුණ බවට අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන අදහස එයින් තහවුරු වෙයි. දැන් පවතින්නේ ලෝකය ප්‍රසාරණය වී කොටස්වලට බෙදුන යුගයකි.
රස පොළොව ඇසුරු කරගෙන පොළොව මත ජීවය බිහිවීමෙන් පසු ලිංග භේද, විවිධ මානව චර්යාවන්, මානව සමාජ හා පාලන ක්‍රම ඇතිවීම පිළිබඳ දීර්ඝ විස්තරයක් අග්ගඤ්ඤ සූත්‍රයෙහි සඳහන් වෙයි. ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ මානව වර්ගයාගේ කායික හා මානසික පරිනාමයක් සිදු වී ඇති බව බුදුදහම පිළිගෙන තිබේ. සත්ත්වයාගේ මානසික පරිනාමය, කායික පරිනාමය හා සමාජ පරිනාමය කාලාන්තරයක් තිස්සේ සිදුවූවකි. එහි ආරම්භයක් නොමැත. නමුත් යුගයක් ඇරඹෙන හැටි දැක්වේ. මුල්ම සත්ත්වයා රස පොළොව ආශි‍්‍රතව ජීවත් වූවෙකි. ඔහු පොළොව ආහාරයට ගෙන ජීවත්වූවෙකි. එයින් රස තෘෂ්ණාව ඇති වී නැවැත නැවැත පොළොව ලෙවකෑමට ලොල් වීමෙන් ක්‍රමයෙන් ඔහුගේ සිරුරේ වෙනස්කම් ඇතිවුණි. රළු විය. ඒ සමගම පොළොවෙහි හටගන්නා පැළෑටි ද වර්ධනය විය. ඇල්ගී වෙනුවට ඇල් වී ඇතිවුණි. ආහාර රටාව හා මානසික හැසිරීම ඔස්සේ මුල්ම සත්ත්වයන්ගේ සිරුරුවල පරිනාමයක් දක්නට ලැබුණි. ගැහැණු හා පිරිමි වශයෙන් වෙන්කළ හැකි ලක්ෂණ මතුවුණි. මනසෙහි හටගත් රාගික චේතනා අනුව හැසිරීම නිසා සදාචාරය පිළිබඳ ගැටලු මතුවිය. මෙතෙක් කාලයක් පොදුවේ පරිහරණය කළ කෙත්වතු, ආහාරපාන ආත්මාර්ථකාමි ලෙස බෙදා වෙන් කරගැනීම, එක්රැස් කරගැනීම, අනුන්ට අයත් දේවල් සොරකම් කිරීම වැනි සමාජ අර්බුද මතුවන විට ඒවා විසඳීමට හා සදාචාරය පිළිබඳ මඟ පෙන්වන්නට පිරිසක් වුවමනා කෙරුණි. රජකම පූජක තනතුරු ආදිය බිහිවුණේ ඒ අනුව යි.
සත්ත්වයාගේ බිහිවීම ගැන බුදුදහම පෙන්වා දෙන කරුණු අදාල වන්නේ ඇතිවෙමින්, නැතිවෙමින් පවතින ලෝකයේ එක් වකවානුවකට පමණි. ලෝකයේ ආරම්භයක් හෝ අවසානයක් දැක්විය නොහැක. එහි දී පැහැදිලි වන දෙය නම්, මනසේ ඇතිවන හැඟීම්වලට නැඹුරු වී කටයුතු කිරීමෙන් සත්ත්වයාගේ කායික හා සමාජයේ පරිනාමය සිදුවන බව යි’ මනෝ පුබ්බංගමා ධම්මා යන ඉගැන්වීමට අනුව මිනිසාගේ සියලු ක්‍රියාකාරකම් සිදුවන්නේ මනස මුල්කරගෙන යි. එසේම හේතුවක් ඇතිවිට ඵලය හටගැනීමේ හා හේතුව නැතිවිට ඵලය නිරුද්ධ වීමේ ගැඹුරු පටිච්ච සමුප්පාද නියාම ධර්මය හෙවත් හේතුඵලවාදය ද එයට සම්බන්ධ ය. ජීවිතයේ පරිනාමයට හේතුවේ.
චාල්ස් ඩාවින් ඉදිරිපත් කළේ ද බුදුදහමට තරමක් සමාන අදහසකි. එනම්, මිනිසාගේ පරිනාමය යි. නමුත් එය බුදුදහමට මුලුමනින් ගැලපෙන ඉගැන්වීමක් නොවේ. මුල් ජීවියාගේ බිහිවීම පිළිබඳ ඔහුගේ අදහස්වල ප්‍රධාන වෙනස්කම් පවතියි. ඩාවින් කියන්නේ රසායනික විපර්යාසයකින් මිනිසා ඉබේ පහළ වූ බවකි. මනසේ පරිනාමය ගැන ඔහු අවධානය යොමුකොට නොමැත. බුදුදහමේ දැක්වෙන්නේ දිළිසෙන සිරුරුවලින් (ආභස්සරා කායා) නැතිනම් දිළිසෙන ලෝකයකින් (එධපතඤ ධට අචඤඪචථ) මුල්ම ජීවියා පැමිණි බවකි. ඒ අනුව ප්‍රථම ජීවියා පෘථිවියට පැමිණියේ විශ්වයේ බාහිර තැනකිනි. අභ්‍යවකාශයේ තිබෙන ග්‍රහලෝක මෙන් ම පෘථිවියට වැටෙන දේවල් ද ආලෝකය විහිදුවීම සාමාන්‍ය දෙයකි. ඒ අනුව බුදුදහම පැහැදිලි කරන මූලික අදහස වශයෙන් ගතයුත්තේ වැනසුන ලොව යළිත් සැකසෙන විට ජීවීන් බැහැර ලොවකින් පැමිණ එහි පැතිරෙන බව යි.
බුදුදහමේ දැක්වෙන අනිත්‍යතාවය හෙවත් වෙනස්වීම යනු ලෝකයේ සෑම දෙයක් සම්බන්ධයෙන් ම බල පවත්වන මූලික ලක්ෂණයකි. ඇසිපිය හෙලුව පසු අපට දක්නට ලැබෙන්නේ ඇසිපිය හෙළන්නට පෙර සිටි තැනැත්තා නොවේ. වෙනත් කෙනෙකි. එයට හේතුව ක්ෂණයක් පාසා පරිනාමයට පත්වීම යි. මිනිස් සිරුරේ රූප කලාප මොහොතක් පාසා වෙනස් වෙයි. නැවත දෙගුණ සිව්ගුණ වී හටගනියි. එයින් සිදුවන කායික පරිනාමය බොහෝවිට දක්නට ලැබෙන්නේ වසර ගණනක් ගතවීමෙන් පසුව යි. එම පරිනාමය අපි මනින්නේ පුද්ගලයකුගේ වයස අනුව යි. ඒ නිසා ඩාවින්ගේ පරිනාමවාදය පිළිබඳ ඉගැන්වීම බුදුදහමට වෙනස් වුවත්, බුදුදහමට පටහැනි සංකල්පයක් නොවේ. බුදුදහමට පටහැනි වන්නේ දේව නිර්මාණවාදය යි.
No comments:
Post a Comment